Tuesday, February 7, 2012

සීමා මායිම් නැති ප්‍රේමය....



                    ඇගේ නම කේටී ක'ර්ක්පැට්‍රික්(Katie  Kirkpatrick).. 21 හැවිරිදි ඇගේ පෙම්වතා 23 හැවිරිදි නික්(Nick)..ඔවුන්ගේ කතාව කොහෙත්ම සුඛාන්තයක් නම් වුනේ නෑ..ඒ හැම කතාවකම වගේ අවසානයෙදි "සතුටින් ගොඩාක් කල් ජීවත් වුනා"කියන වචන ටික මේ කතාවෙදි අහන්න නැති නිසා..ඒත් ඔවුන් සතුටින් උන්නා...මේ කතාව කියන්න හිතුවෙ සැබෑ ප්‍රේමයට කල නොහැක්කක් නොමැත කියන එක ආයෙත් මතක් කරන්න..ඇත්තමයි..ඔවුන්ගේ ආදරය ඒ තරම්ම ප්‍රබලයි...
මේ ඡායාරූපය අපේ කතා නායිකාවගෙ විවාහ මංගල්‍යයට කලින් ගත්තු එකක්..හරියටම දින වකවානු එක්ක කිවුවොත් 2005 වසරෙ ජනවාරි 11 වෙනිදා..කේටී ඒ වනවිටත් මාරාන්තික පිළිකාවක ගොදුරක් බවට පත් වෙලයි හිටියේ..මේ නිසාම ඇයට පැය ගණන් පිළිකා නාශක ප්‍රතිකාර වල යෙදෙන්න වුනා..මේ එවන් එක් අවස්ථාවක ස්වකීය පෙම්වතියගේ ප්‍රතිකාරයන් අවසන් වෙනතෙක් බලා සිටින නික්..




                ක්‍රමයෙන් මියයමින් පවතින ශරීරාංග වලින් නැගෙන වේදනාව මෝෆීන් නම් උත්තේජකයේ පිහිටෙන් යටපත් කරගත් කේටී තම විවාහ මංගල්‍යයේ හැම අවස්ථාවක්ම වගේ සැලසුම් කළා..ඇගේ මංගල ඇඳුම කිහිප විටක්ම යළි සකස් කරන්න වුනා...ඒ ඇයගේ ශරීරය දිනෙන් දින දරුනු විදියට වැහැරෙමින් තිබුනු නිසාවෙන්..



                    ඇගේ ප්‍රේමය මල්ඵල ගැන්වෙන දවස උදා වුනා..විවාහයට පැමිණි අමුත්තන් අතර අසාමාන්‍ය,නමුත් අත්‍යාවශ්‍ය එක් අමුත්තෙකුත් සහභාගී වුනා..ඒ ඔක්සිජන් වායු ටැංකියක්..එය කේටී අසලින්ම තබා තිබුනේ ඇයට නිතරම පාහේ එහි පිහිට පතන්නට වුනු නිසා..මේ ඡායාරූපයෙ  පැත්තකින් හිටගෙන ඉන්න අනික් යුවල නික්ගේ දෙමවුපියන්... ඔවුන් හැඟීම්බරව බලා ඉන්නේ තම පුතු යොවුන් වියේ බැඳි ආදරය තමන්ගේම කරගෙන සිනාසෙන ආකාරය දෙසයි..



                   ඇයත් යුවතියක්...අනික් යුවතියන්ගේ හිත්වල දෝරෙ ගලන දහසකුත් එකක් බලාපොරොත්තු කේටීගේ දහිරිය පිරිච්ච හිතටත් වලංගුයි..ඒ නිසාමයි මේ ඇගේ මුවින් වෑහෙන හිනා ගඟ අව්‍යාජ්‍ය වෙන්නෙත්..ඇය රෝද පුටුවකට වී වුවත් මේ සිනාසෙමින් බලා සිටින්නේ ඇගේ ආදරබර සැමියා හා ඔහුගේ මිතුරන් ගීත ගයමින් ඇය වටා නටන දිහායි..



කොතරම් සතුටින් හිටියත් ඇයට විටින් විටි මඳ විවේකයන් ගන්නම වුනා..වේදනාව ඇයට වැඩි වේලා සිටිගෙන සිටීමට ඉඩ දෙන්න තරම් කාරුණික වුනේ නෑ..


             කේටී තමන්ගේ විවාහයෙන් දවස් 5කට පස්සෙ මෙලොව හැර ගියා..මෙවන් දුර්වල ගැහැණියක් මනමාලියක වී මුව'ග රැඳුනි හසරැල්ලකින් යුතුව බලා හිටිද්දී හිතට ගලන හැඟීම් කෙසේ වදන් වලට පෙරළම්ද?




සතුට හැමවිටම ඔබ ළඟමයි..
සිනහව තමන් ළඟ තබා ගන්න කාලය ගැන මිස
එහි පැවැතුම් කාලය ගැන සිත වෙහෙසන්න එපා..
මේ ජීවිතේ හරිම කෙටියි..
ඒක නිසා ජීවිතේට ආදරය කරන්න..
ඒ වගේම හැකි උපරිමයෙන් වැඩ කරන්න..
අසීමාන්තිකව ආදරය කරන්න..
හැකි ඉක්මනින් සමාව දෙන්න..
අසීමිතව සිනාසෙන්න..
එපා හිනාවට වැට බඳින්න..

ඒ වගේම තවත් එකම එක පුංචි ඉල්ලීමක් තියෙනවා..
හැකි උපරිමයෙන් පිළිකාවලින් පෙළෙන්නන්ට උදවු කරන්න..අඩුම තරමින් ඔවුන්ට සෙතක් වේවා කියන සිතිවිල්ලෙන් කල් ගෙවන්න...

No comments:

Post a Comment

නිදහස් අදහස්....