Sunday, January 22, 2012

ආදරය සුන්දර වරදකී...කිසිදා සමාවක් නම් නැතී...

ආදරයේදි විඳින්න වෙන ගොඩාක් රසයන් තියෙනවා..ආදරය කරන්න කෙනෙක් හම්බෙනකම් මම තවමත් තනිකඩයිනේ කියල හිත හිතා දුක් වෙනවා..ආදරය කරනකම් ආදරය කරන කෙනා නැතිවෙයි කියන දුක හිතේ තියාගෙන දුක් විඳිනවා..ඒ කෙනාව නැති උනාම එච්චර කල් විඳපු දුකටත් වඩා මහා දුකක් විඳින්න වෙනවා..ඒකට පුරාණ සිංහල සාහිත්‍යයේ කිවුවෙනම් "විප්පයෝග ශෘංගාරය" කියලා..කිව්වට මොකද ඔය කියන ශෘංගාර රසය විඳපු නැති මනුස්ස පරාණයක් හොයාගන්න එක අද කාලෙ ටිකක් අමාරු වැඩක්...තරහ අවසර මමත් ඔය කියන රසය හොඳට විඳලා තියෙනවා..ඒ වගේ වෙලාවක මගේ අතින් ලියවුනු කවි නිසඳැස් එහෙමත් මම තමුන්නාන්සෙලාගේ රසවින්දනය වෙනුවෙන් මගෙ බ්ලොග් අඩවියට ඇතුලත් කරන්න හිතුවා...අදහස් උදහස් කියලා දීලා මාව දිරිමත් කලොත් ඔයගොල්ලන්ට පින්!




සමාවනු මැන යෙහෙළියේ මට...

හද ගැහෙන හැම වරකදී
සොයන්නේ සිත නුඹෙ රුවයි
සිත පතන්නේ ස්නේහයයි ඔබෙ
දිවා රෑ මා සිත දවයි..

හොඳම මිතුරිය ලෙසින් ළංවී
මසිත පිබිදූ සිහින කැකුළට
පිපෙන්නට පෙර පරව යන්නට
සිදුවුණේ පෙර කළ පවකටද?

සිහින මැවුවෙමි ළඟින් හිඳිනට
සිනා කැන් හා කඳුළු බිඳු ළඟ
නමුදු බොඳ උනි ඒ සිහින පෙළ
අන් සිතකටයි පෙම් කළේ ඔබ !

සුසුම් කඳුලැල් අතර තනිවී
තැත් කළෙමි මම මින් මිදෙන්නට
වෛර කෙරුවෙමි මසිතටම මම
වෙර ගතිමි මම පළිය ගන්නට

සිතා ගන්නට නොහෙකි වේගෙන්  
සිදුවුනා වූ සියළු දෙයටම 
එකම ප්‍රතිකර්මයයි දුටුවේ
දිවි ගමනෙ නැවතුමයි විසඳුම

තැත් කළා දිවියෙන් මිදෙන්නට
නමුදු වැටහුණි දිවිය දුක බව
සියල්ලම අතිර යැයි සිතමින්
තැත් කළෙමි සිත හදාගන්නට

අන් සිතක් හා ඔබ තුටින් යැයි 
වැටහුනා මට කලක් යද්දිම
එයින් තුටු වී ඉවසුවෙමි මම
සිනා කැන් නුඹෙ මුව'ග දකිනට..

දිවි ගමනෙ මිතුරන්ව හිඳිනට
සපථ කෙරුවා දිනක් මතකද?
ඒ පොරොන්දුව මෙලෙස කඩනට
කියනු මැන මා කළ වරද කිම?

සෑම මොහොතක් පාසා ඔබ සිත
පැතුවෙ මාගෙන් , පමණි මිතුදම
වැටකඬුළු බිඳ වැඩුණු ස්නේහය
ඉතිරි කෙරුවේ දුක පමණමය

සමාවනු මැන යෙහෙළියේ මට
දුන්නු තැවුලට මගේ වදනට
සිතා ගත්තෙමි නැවත කිසිදින
ළං නොවන්නට ඔබේ සිත වෙත

මගෙ මිතුරුකම එපා කීවත්
වෛර නොකරමි කිසිදිනකවත්
චිරත් කල් යහතින් වසන්නට 
පතමි ආසිරි ! ආයුබෝවන් !!!

           "මිතුරු සංකල්පනා අතරින් 
             බැඳුනු අපගේ සිත්....
            වෙනත් කෙනෙකුගෙ රුචි බවින්
             දුරස් වුනි යළි ගව් ගණන්...."

Wednesday, January 18, 2012

ලංකාවෙ අපේ ඇත්තන්ට එපා උනු සිංහල ගී පේලි පිටරට ඇත්තන් මුවින් සත්සර රාව නංවනු බලනු සකි..


සුභාවිත ගී කලාවේ අභාවය...

"බලන් කඩතුරා හැර දෑසේ.."

මිනිසා....
ඇත්තටම "මිනිසා" කියන්නෙ කවුද? "මනුෂ්‍යයා" එහෙමත් නැත්තම් "මනුසතා" කියලත් ඔහුව හඳුන්වනවා..එහෙනම් මේ මහලොකුවට පුරාජේරු කිව්වට අපිත් සත්තු නෙමෙයිද?හරි..අපි සත්තුන්ගෙන් වෙනස් වෙන්නෙ කොහොමද?ඔන්න ප්‍රශ්නයක්..බුද්ධියයි රසඥතාවයයි හින්දයි  මනුසතා අනික් සත්තුන්ගෙන් වෙනස් වෙන්නෙ..අපි සාහිත්‍යයයි රසඥතාවයයි ගෙන පොඩ්ඩක් කතා කරමු.

සාහිත්‍යය ගැන කතා කරද්දි අපිට අනිවාර්යයෙන්ම සින්දු ගැනත් බලන්නම වෙනවනෙ..ඉස්සර ඉඳන්ම ශ්‍රී ලංකාවේ උසස් මට්ටමේ සාහිත්‍යයක් තිබිල තියෙනවා.ඒක ගැන අටුවා ටීකා ටිප්පනි ඕනෙ කරන්නෙ නැහැ..සන්දේශ කාව්‍යයන් ටික ඒකට හොඳම සාක්ෂි...ඒත් එතන නෙමෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ...ඒ සාහිත්‍යයේ වර්තමාන ස්ථාවරය...අන්න එතනනම් ටිකක් නැවතිලා නිවිහැනහිල්ලෙ හිතල බලන්න වටින තැනක්...එදා තිබ්බ සාහිත්‍යයත් එක්ක අද ති‍යෙන සාහිත්‍යය ලඟින් තියන්නවත් පුළුවන්ද?අපේ භාෂාවෙන් කියනවනම් ඒක අද "චාටර්" වෙලා ගිහිල්ලා නේද?ඉස්සර තිබ්බ ඒ උසස් සාහිත්‍යය අපේම උන්ගෙ වරදින් දියාරු වෙලා ගිහින්...
ඊයෙ පෙරේදා දවසක කොලඹ ගිහින් එන ගමන් මම කම්මැළිකමට රේඩියෝ එක දැම්මා.'රතු රටකජු සුදු රටකජු එකට උයාලා' කිය කියා කවුදෝ එකෙක් කෑ ගහන්න ගත්තා.මොන මළ ඉලව්වක්ද?රටකජුවල පාට කියන්නද මුන් සින්දු හදන්නෙ?ඔහොම ගියොත් කෝ අපේ රටට සාහිත්‍යයක්?ඒ අතින් බලනකොට අමරදේව මාස්ටර්ලා දෙයියො...
අද කාලෙ ඕන මී හරකෙක්ට සින්දු ලියන්න පුළුවන් තරමටම සිංහල සාහිත්‍යය වල් වැදිල,දියාරු වෙලා ගිහින්...රචනාවක් ලියලා පොඩි 'බීට්' එකක් දාගත්තම හරි..අනේ අනිච්ච්ං කියල හිතෙන්නෙ උන්ගෙ මර ළතෝනියත් එක්ක කනට රිංගන මෙලඩි දාපු රචනාවෙ තේරුම ටිකක් හොයලා බලපුවම තමයි..
මේවා ලියන්නෙ කාත් එක්කවත් තියෙන තරහකින් නෙමෙයි..නමුත් එහෙම සින්දු ඇහෙනකොට පෘථග්ජනයො විදියට අපේ ඇඟේ ලේ රත්වෙනවා..මම අර කලින් කියපු සින්දුව කියන කෙනාගේ තව අළුත් තාලේ ලස්සන සින්දුත් තියෙනව.ඒක ගායකයා ගැරහීමක් කියල වරදවා වටහාගන්න එපා..
සින්දුවක් අහනකොට ඒ අහන කෙනා ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ යම්කිසි වු මානසික තෘප්තියක් මිසක් අලුතින් ලේ කෝප කරගන්න නෙමෙයි.ඒක හින්දා ඔය වගේ සින්දුවක් ලියන්න කලින් පන්ඩිත් අමරදේවලගෙ,අමරසිරි පීරිස්ලගෙ,සනත් නන්දසිරිලගෙ සින්දු ටිකක් අහන්න.ඒ සින්දුවක් අහපුවහම හිතට දැනෙන මානසික තෘප්තිය විඳින්න...එතකොට තේරෙයි මොකක්ද සින්දුවකින් අත්තටම වෙන්න ඕනෙ කියල..
මේක කියෝලා ඇඳන් ඉන්න රෙද්ද කරට අරන් ලියපු එකාට සාප කර කර හොයාගෙන එන්නෙ නැතුව පොඩ්ඩක් හිතල බලන්න..අපේ මිනිස්සු මෝඩ නැහැනේ,ඒ නිසා අනිවාර්යයෙන්ම කියවන අයට තේරෙයි මේකෙ ඇත්ත නැත්ත.
අන්තිමටම කියන්න තියෙන්නෙ මෙච්චරයි..දැන් වෙලාව එහෙම තියෙනවනම් කීබෝඩ් එකෙන් අත් දෙක අරගෙන නිවි හැනහිල්ලෙ ටිකක් කල්පනා කරල බලන්න මේකෙ වගතුග.එතකොට තේරේවි ඔබටම...
video

Tuesday, January 17, 2012

ගුරු පූජා....

මේ ලොකය හරිම විශමයි...කතාවට අපි කියනවනෙ "රෝමෙට ගියහම රෝමන්කාරයෙක් වගෙ ජීවත් වෙන්න ඕනෙ කියලා..මේ ලොකෙ,එහෙමත් නැත්තම් මේ සමාජය රෝමයනම් ඒ රෝමයෙදි රෝමන්කාරයෙක් වෙන්න විධික්‍රම කියල දෙන්නෙ අපේ ගුරු දෙවිවරු..මේ මම අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්තියෙන් නික්මෙන දවසේ මගේ අතින් ලියවෙච්ච පුංචි නිසදැසක්...මේක මේ ලෝක තලය මත දෙනෝදහක් දරුවන්ට සිප් සතර කියල දෙන දිසාපාමොක් පරපුරේ උතුමන්ට පූජා වේවා!!
                        " මහමෙරක් වු ලොවක් අබියස
                         නැණෙන් නුවණින් පිරි රජුන් ලෙස
                         ලබන්නට අබිසෙස්...
                         අරන්නට සිහසුන්...
                         ඔබෙන් ලත් ඒ මහරු ගුණ නැණ සදා සිහිපත් කරමු බැතියෙන
                         මං මුළාවූ අපේ දිවියට
                         අරුත් දුන් මහැඳුරානනි..
                         බොඳවු දෙනෙතින් දෙපා සිප වැඳ
                         අවසරයි ඉදින් අපට....
                         යන්ට පියමැන අපේ ලොව වෙත..."

සිතිවිලි සක්මනට පෙරවදනක්...

ජීවිතේ කියන්නෙ හරිම සුන්දර,නිදහස්,අපේ භාෂාවෙන් කිවුවොත් පට්ට පට පට තැනක්..ඒත් ඒ සුන්දරකමට,ඒ නිදහස්කමට යට වෙච්ච මහ භයානක අසුන්දරත්වයකුත් තියෙනවා..ජීවිතේ ගැන මොන කෙනා මොන කතා කිවුවත් ජීවිතේ මම දකින විදියටනම් පුදුමාකරම ගුප්ත දෙයක්...අන්න ඒ තරමටම ගුප්ත වෙච්ච මගෙ ජීවිත පොජ්ජ ගෙන ටිකක් දෙසාබාලා හිතේ තියෙන බර හෑල්ලු කරගන්න අවසරයි ඕං...තරහ අවසර කාරනාවක් තියෙනව පටන් ගන්න කලින්ම  කියන්ට..මේකෙ තියෙන සමහර කරුනු කාරනා එක්ක ඔබ තමුන්නෙහෙලා එකඟ නොවෙන්න ඉඩ තියෙනවා...එතකොට ඉතින් ඇඳන් ඉන්න රෙදි කරට අරන් මගේ පරම්පරාව පිළිබඳව ජාතිය අමතන්නෙ නැතුව අර රචකයාගෙ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැනයි පොඩි කොල්ලෙක්නෙ කියල හිතලයි මට සමාවී වදාරන සේක්වා!!ඒත් ඉතින් මගෙ postsවලට ඔබගේ නිදහස් අදහසුත් එකතු කරන්න...එතකොට නොදන්න කෙනෙකුට දෙයක් කියල දුන්න එකෙන් ලැබෙන නිරාමිස සතුට විඳින්න ඔබ තමුන්නාන්සේලාටත් පුලුවන් වේවි!!