ආදරයේදි විඳින්න වෙන ගොඩාක් රසයන් තියෙනවා..ආදරය කරන්න කෙනෙක් හම්බෙනකම් මම තවමත් තනිකඩයිනේ කියල හිත හිතා දුක් වෙනවා..ආදරය කරනකම් ආදරය කරන කෙනා නැතිවෙයි කියන දුක හිතේ තියාගෙන දුක් විඳිනවා..ඒ කෙනාව නැති උනාම එච්චර කල් විඳපු දුකටත් වඩා මහා දුකක් විඳින්න වෙනවා..ඒකට පුරාණ සිංහල සාහිත්‍යයේ කිවුවෙනම් "විප්පයෝග ශෘංගාරය" කියලා..කිව්වට මොකද ඔය කියන ශෘංගාර රසය විඳපු නැති මනුස්ස පරාණයක් හොයාගන්න එක අද කාලෙ ටිකක් අමාරු වැඩක්...තරහ අවසර මමත් ඔය කියන රසය හොඳට විඳලා තියෙනවා..ඒ වගේ වෙලාවක මගේ අතින් ලියවුනු කවි නිසඳැස් එහෙමත් මම තමුන්නාන්සෙලාගේ රසවින්දනය වෙනුවෙන් මගෙ බ්ලොග් අඩවියට ඇතුලත් කරන්න හිතුවා...අදහස් උදහස් කියලා දීලා මාව දිරිමත් කලොත් ඔයගොල්ලන්ට පින්!
සමාවනු මැන යෙහෙළියේ මට...
හද ගැහෙන හැම වරකදී
සොයන්නේ සිත නුඹෙ රුවයි
සිත පතන්නේ ස්නේහයයි ඔබෙ
දිවා රෑ මා සිත දවයි..
හොඳම මිතුරිය ලෙසින් ළංවී
මසිත පිබිදූ සිහින කැකුළට
පිපෙන්නට පෙර පරව යන්නට
සිදුවුණේ පෙර කළ පවකටද?
සිහින මැවුවෙමි ළඟින් හිඳිනට
සිනා කැන් හා කඳුළු බිඳු ළඟ
නමුදු බොඳ උනි ඒ සිහින පෙළ
අන් සිතකටයි පෙම් කළේ ඔබ !
සුසුම් කඳුලැල් අතර තනිවී
තැත් කළෙමි මම මින් මිදෙන්නට
වෛර කෙරුවෙමි මසිතටම මම
වෙර ගතිමි මම පළිය ගන්නට
සිතා ගන්නට නොහෙකි වේගෙන්
සිදුවුනා වූ සියළු දෙයටම
එකම ප්‍රතිකර්මයයි දුටුවේ
දිවි ගමනෙ නැවතුමයි විසඳුම
තැත් කළා දිවියෙන් මිදෙන්නට
නමුදු වැටහුණි දිවිය දුක බව
සියල්ලම අතිර යැයි සිතමින්
තැත් කළෙමි සිත හදාගන්නට
අන් සිතක් හා ඔබ තුටින් යැයි
වැටහුනා මට කලක් යද්දිම
එයින් තුටු වී ඉවසුවෙමි මම
සිනා කැන් නුඹෙ මුව'ග දකිනට..
දිවි ගමනෙ මිතුරන්ව හිඳිනට
සපථ කෙරුවා දිනක් මතකද?
ඒ පොරොන්දුව මෙලෙස කඩනට
කියනු මැන මා කළ වරද කිම?
සෑම මොහොතක් පාසා ඔබ සිත
පැතුවෙ මාගෙන් , පමණි මිතුදම
වැටකඬුළු බිඳ වැඩුණු ස්නේහය
ඉතිරි කෙරුවේ දුක පමණමය
සමාවනු මැන යෙහෙළියේ මට
දුන්නු තැවුලට මගේ වදනට
සිතා ගත්තෙමි නැවත කිසිදින
ළං නොවන්නට ඔබේ සිත වෙත
මගෙ මිතුරුකම එපා කීවත්
වෛර නොකරමි කිසිදිනකවත්
චිරත් කල් යහතින් වසන්නට
පතමි ආසිරි ! ආයුබෝවන් !!!
"මිතුරු සංකල්පනා අතරින්
බැඳුනු අපගේ සිත්....
වෙනත් කෙනෙකුගෙ රුචි බවින්
දුරස් වුනි යළි ගව් ගණන්...."