Friday, October 25, 2013

උදුරාගත් සෙනෙහස!

තුන් මාසයක්.. 
මහ ගොඩාක් දේවල් වෙනස් වෙච්ච කාලයක්! 
හිත අස්සෙ පුපුරු ගහන දුක අද ආයෙම අළුත් උනා..හිත අඬනවා..මගෙ විතරක් නෙමෙයි..අපි හැමෝගෙම! ඇත්තමයි..මේ තුන් මාසෙම හැම දවසක් දවසක් ගානෙ මහා හිස් බවක්,මහා තනිකමක් දැනුනා හිතට!
මුළු ගෙදරම මූසල පාටයි..ඉස්සර බොහොම සරුවට තිබිච්ච අපේ වත්ත අද කේඬෑරි වෙලා හේ බාලා ගිය ගස්වැලිවලින් පිරිලා..ඉස්සර ඒ හැම පැළයක් ගානෙම බොහොම ආදරයෙන් රැක බලාගත්ත ඒ රත්තරං අත් දෙක ආයෙ උන්ට වතුර,පෝර දාන්න එන්නෙ නැති බව උන්ටත් තේරිලා වගෙයි!එදා ඉඳන්ම අපේ ගෙදරට හැමදාම ආපු ඉංග්‍රීසි පත්තරේ තවමත් හැමදාම පුරුද්දට වගේ ගෙනාවට ඒකෙ සුදෝකු ප්‍රෙහේලිකාව බොහොම සීරුවෙන් පුරවන්න හරි ආසාවෙන් මග බලං හිටපු ඒ ගාම්භීර රූපය අද අපේ ගෙදර නැහැ..
අපේ සුදු සීයා.. 
පුදුමාකර ශක්තිමත්,ප්‍රතාපවත්,කරුණාවන්ත චරිතයක්! සීයාගෙ හැම පියවරක් පියවරක් ගානෙම,වචනයක් වචනයක් ගානෙම අපිට හිතන්න, හිතට ගන්න දෙයක් ඉතුරු කළා..හැමදාම මම ගෙදර එද්දි ක්‍රිකට් මැච් බලන්න සීයා වාඩි වෙන සුපුරුදු පුටුව අද හිස්! ඒ පුටුව දකින වාරයක් ගානෙ මගෙ සුදු සීයව මැවිල පේනව සීයෙ! ඒත් අද සීයව දකින්න ඉතුරු ඒ පුටුව එහාපැත්තෙ තියල තියෙන රාමු කරපු පින්තූරයක් විතරයි!
මගේ සුදු සීයගෙ හිතේ තිබ්බ ලොකූ ආසාවක් තමයි සීයගෙ දරුවො හතරදෙනයි මුනුඹුරු මිනිඹිරියො දහ දෙනයි එක තැනකට දවසක එකතු කරලා කතා කර කර ඉන්න..ඒත් සීයෙ අපි හිටියෙ ලෝකෙ හතර කොනේ ඉහිරිලා..අන්තිමට අපි සේරමලා එකතු උනා..කතා කරා..ඒත්..ඒත් ඒ සතුට විඳින්න සීයාට ඉන්න බැරි උනා..බැරි උනා නෙමෙයි..බැරි කළා..මැරෙන්න වටින මිනීමරුවො, කාළකන්නි උතුරන්න ඉන්න මේ ලෝකේ කොහෙවත් නැති නරකාදි පිළිකාවක් අපෙ රත්තරං සුදු සීයව අපෙන් උදුරගත්තා! 
ජූලි 24 වෙනිදා..මගෙ 18වෙනි උපන්දිනේට දවස් තුනකට පස්සෙ දවස..මේ අවුරුදු ගාන තිස්සෙම හැම උපන්දිනයක් ගානෙම මට මුලින්ම සුභ පැතුව අය අතරෙ මගෙ සුදු සීයයි සුදු ආච්චියි හිටියා..ඒත් මම පුදුම ආසාවෙන් උදාවෙනකං බලං හිටපු මගෙ 18වෙනි උපන්දිනේ සුදු සීයගෙන් "හැපි බර්ත්ඩේ පුතේ" කියලා අහගන්න වෙන අන්තිම උපන්දිනේ කියල දැනන් හිටියනං මං කවදාවත් ඒ දවස සමරන්නෙ නෑ සීයෙ! 
ජීවිතේ මහ පුදුමයි..එදා මගෙ සුදු සීයාව ඉස්පිරිතාලෙ ගෙනියපු දවසෙ සීයාගෙ අතින් අල්ලං සීයාගෙ එහා පැත්තෙන් ඇම්බියුලන්ස් එකේම මමත් ගියෙ සීයා නැතුව ගෙදර එන්න වෙයි කියල දැනගෙන නෙමෙයි සීයෙ..ඒ උනත් සීයා නිහඬවම සීයාගෙ ගමන ගියා..
තුන්මාසයක් ගෙවිලා ගිහින්..මම දන්නවා..අපි දහදෙනා දිහාම මගෙ සුදු සීයා බලාගෙන ඉන්නෙ කියලා.. ගොඩාක් පාළුයි සීයෙ..මේ කම්පියුටර් එක ඉස්සරහදිම මම අනන්ත සීයගෙන් බැනුම් අහන්න ඇති..දැනුත් සීයා කේන්තියෙන් ඇත්තෙ කාලෙ නාස්ති කරනව කියලා..මට සමාවෙන්න මගෙ සුදු සීයෙ! කොච්චර හිත රිදුනු වැඩ කළත් අපි දහදෙනාම එකා වගේ සීයට හැමදාමත් ආදරෙයි සුදු සීයෙ..මම ජීවිතේ හැමදාමත් පසුතැවිලි වේවි සීයාගෙ හිත රිද්දපු ඒ හැම පාරක් ගානෙම..අපිට මනුස්සකම කියල දුන්නෙ සීයා..අපිව හරි පාරෙ යැවුවෙ සීයා..ඒ හැමදේටම ජීවිතේ ඇති තුරා අපි ණයයි සුදු සීයෙ..ඉක්මනින්ම නිවන් දකින්න මගෙ සුදු සීයෙ!! :'( 
ආදරෙයි හැමදාමත් අපි !!

2 comments:

  1. සුදු සීයාට නිවන් සුව පතමි!අපේ සියගේ කතාව මෙතනින් බලන්න http://shanu1987.blogspot.it/2013/03/blog-post_18.html

    ReplyDelete
    Replies
    1. මගෙ සුදු සීයා වගේම අක්කගෙ සුදු සීයාත් කොහෙ හරි හොඳ තැනක ඉඳන් බලං ඇති දැන්!සීයාට නිවන් සුව!

      Delete

නිදහස් අදහස්....