Thursday, December 10, 2015

~~: දෙවියනි මගේ දුක මොහොතක් අහපල්ලා! :~~

අහසට දෑත් දිගු කර තව වැඳපල්ලා
නළලත බිම ගසන් තව තව යැදපල්ලා
රුහිරෙන් පුදා දෙවියන් පිනවාපල්ලා
මියගිය ඇයට සැනසුම ලැබුණද අල්ලාහ්? 

ගල් මුල් වලින් ඇගෙ ගත තළනා විටදි
දිළිසෙන කගපතින් හිස ගසනා විටදි
ඇගෙ මල් කැකුලු පතිවත වනසන  විටදි
දෙවියනි කිමද නොදැනෙන නොපෙනෙන පරිදි? 

මොන දෙවියන්ද රුහිරෙන් පූජා ගන්නේ? 
මොන දෙවියන්ද මරණෙට අනුබල දෙන්නේ? 
මොන දෙවියන්ද හදවත් දුක් අවුලන්නේ? 
දෙවියන් නිසා ඇයි ලේ වගුරාගන්නේ? 

ආගම නමින් ලේ වැගිරිලි නවතල්ලා
දෙවියන් දෙසූ දේ යළි විමසාපල්ලා
යහපත මිසක් නරකෙන් හිත් මුදපල්ලා
දැන් ඇති මරණ බිය දැන්වත් නවතල්ලා! 

අල්ලාහ් දෙවිදුනේ මේ දුක අහපල්ලා
ලේ ගංගා වලට නැවතුම තබපල්ලා
දහම නමින් දෙන දඬුවම් නවතල්ලා
ලොව හැම සතම රැක දෙනු දෙවියනි අල්ලාහ් ! 

දෙවියන් උත්තමයි මනුසත් අපට වඩා
ඔහුගේ දෙසුම යහපත පිණිසමයි සදා
ඒ දෙසු දහම ගනු මැන නිවැරදිව යොදා
ස්වර්ගය වෙත පෙනෙයි මාවත විවර වෙලා. 

ප:ලි: 
මෙය කිසිදු ආගමකටවත්, ආගමික නායකයෙකුටවත් අහේතුක මඩ ගැසීමක් නොවන බවත් ආගම නාමයෙන් සිදුකරනා ලේ වැගිරීම් පිළිබඳ ඇතිවූ සිත් රිදීම ම පමණක් මේ කවිපෙළට හේතු වූ බවත් පවසනු කැමැත්තෙමි. 

:දෙමින්ත ජයසිංහ: 
#සිතිවිල්ලක් #සිතිවිලිසක්මන

Monday, March 30, 2015

නාම මාත්‍රික 'උත්තම' පුරුෂයෝ :)

ඔවුහු ,
පිරිමින් අතරිනුත්
තමන් ' සැබෑ පිරිමින්' යයි කියා සිතා සිටින්නෝ ය.
වදන් මහා තේජස්‍ ය.
අවවාද දීමේ රුසියෝ ය.
අනුන් බස් නොතකයි.
සැමවිටම සර්ව නිරවද්‍ය වන්නෝය.
කෙටියෙන්,
මහා පුරුෂභාවයක් ලොවට පෙන්නාගෙන සිටින්නෝ ය.

නමුත්,
ඒ මහා යුග පුරුෂයන්..
මදුවිතෙහි ගිළුනු කල,
පෙනුමට සොඳට ඇග ලා සිටි
සීහ චර්මය ඔවුනටත් රහසින්
පොළව සිඹිනා බව දකින්නේ
මැදිහත් සිතැත්තෝ ම පමණි.
සීහ චර්මය ආභරණ කරගත් සිවලුන් කැණහිලුන්ගේ සැබෑ සැටි
ඔවුහූ ම බමන මතින් ලොවක් අබියස විදා දක්වාලති.

එනමුත්,
බක වදන් එසේම ය.
'යුග පුරුෂ' බව නොවෙනස් ය.
උන් මහා දාර්ශනික බස් තෙපළති.
සැමවිටම නිවැරදි ය.
"උන් එසේ සිතා සිටිති."
නමුත්,

බෝතලය අභිමුව
පිරිමිකම උගස් තියනා ඔවුහු,
සීහ හම පසෙක තබා
සැබෑ සිවල් ගති ලොවට පෙන්නති.

ලොව ද අනුකම්පාවෙන්
දෑස් දල්වා
ඔවුනගේ විගඩම්
බලමින්
ඉවසීම පුහුණු කරති.

#සිතිවිල්ලක

Friday, February 14, 2014

නංගියේ සිත් තුටින් නිවනින්ම සැනසියං..

රුපියල් සතවලින් 
හැමදේම මැනෙනකොට
අසරණකම ඉකිබිඳින්නට ඇති
ඇගේ අහිංසක පුංචි ඇස් යට..
මනුස්සකම පලාගිහින්
පෑළදොර අඩවල් නොකරම..

නංගියේ..
සෙරෙප්පු පතුරක් නිසා..
රිදුනු උඹෙ පුංචි හිත..
ගත්ත ඒ තීරණය
රිද්දුවා ලෝකයම..
දාස් ගණනින් ගෙවා 
පතුල් සරසන උන්ට
නොපෙනුණේ ඇයි උඹේ 
අහිංසක හිනා පොද?
ඔය පුංචි හිනා මල..
ලෝකෙටම නැති උනත්..
යළි එපා පිබිදෙන්න 
මේ ජරා ලෝකෙනං! 
නිරාමිස සැප ලබං
නිවී සතුටිං ඉඳිං
නංගියේ සිත් තුටින්
නිවනින්ම සැනසියං!

Tuesday, February 4, 2014

සිහ රජිඳුනේ වැජඹෙනු තෙද අභිමානෙන්! 
























සිංහ කේසාරවය නගමින්
ගෙන තියුණු කගපතක් සුරතින්
රුපුන් එඩි බල කපා හෙළමින්
නැගී ඉනු සිහ රජිඳ යහතින්!

හෙළ බිම අහස සමුදුර එක සේ රකිමින්
ගුවනත නැගී ලෙළදෙන ඔබගේ නාමෙන්
දහසක් මල් පිපෙනු ඇත අද අභිමානෙන්
පැරදෙයි ලොවම මතු දින ඒ අනුභාවෙන් !

ජන්මය ලදිමි මේ පින්සරු ලක් පොළොවේ
රුහිරෙන් පුදා හෝ රැකගන්නෙමි පණ සේ
මියෙනා තුරුම සැනසෙමි සෙවනෙහි ඇයගේ
මියගිය දිනෙක පස් වෙමි මේ බිමට තොසේ !


Wednesday, January 15, 2014

සිතිවිලි!

කවිකම් කෙරුම මෙන් සිතකට සුවය      දෙන
වෙනයම් දෙයක් වෙද මේ ලොව කිසිම   තැන
සිතට නැගෙන කවි සිතිවිලි පදට            ගෙන
කවියක් කර ලියමි සැනසුම ලබා            ගෙන

අයා දෙනෙත ලෝකය දැකුමෙහී            රිසින්
පියා සලා යන විහඟෙකුගේ                විලසින්
සොයා නිදහසේ අරුණළු යමි              රහසින්
ලියා තබමි ගමනක ඇරඹුම             මෙලෙසින්

පද ගැට ගසා කරනා විට මම                කවිකම්
සිතිවිලි ගලා එයි බිඳිමින් සීමා                    ඉම්
පන්හිඳ තුළට කවනෙමි ඒ සියළු            හැඟුම්
කඩදහි කෑල්ලක රඳවමි මතක               කුසුම්! 

Friday, October 25, 2013

උදුරාගත් සෙනෙහස!

තුන් මාසයක්.. 
මහ ගොඩාක් දේවල් වෙනස් වෙච්ච කාලයක්! 
හිත අස්සෙ පුපුරු ගහන දුක අද ආයෙම අළුත් උනා..හිත අඬනවා..මගෙ විතරක් නෙමෙයි..අපි හැමෝගෙම! ඇත්තමයි..මේ තුන් මාසෙම හැම දවසක් දවසක් ගානෙ මහා හිස් බවක්,මහා තනිකමක් දැනුනා හිතට!
මුළු ගෙදරම මූසල පාටයි..ඉස්සර බොහොම සරුවට තිබිච්ච අපේ වත්ත අද කේඬෑරි වෙලා හේ බාලා ගිය ගස්වැලිවලින් පිරිලා..ඉස්සර ඒ හැම පැළයක් ගානෙම බොහොම ආදරයෙන් රැක බලාගත්ත ඒ රත්තරං අත් දෙක ආයෙ උන්ට වතුර,පෝර දාන්න එන්නෙ නැති බව උන්ටත් තේරිලා වගෙයි!එදා ඉඳන්ම අපේ ගෙදරට හැමදාම ආපු ඉංග්‍රීසි පත්තරේ තවමත් හැමදාම පුරුද්දට වගේ ගෙනාවට ඒකෙ සුදෝකු ප්‍රෙහේලිකාව බොහොම සීරුවෙන් පුරවන්න හරි ආසාවෙන් මග බලං හිටපු ඒ ගාම්භීර රූපය අද අපේ ගෙදර නැහැ..
අපේ සුදු සීයා.. 
පුදුමාකර ශක්තිමත්,ප්‍රතාපවත්,කරුණාවන්ත චරිතයක්! සීයාගෙ හැම පියවරක් පියවරක් ගානෙම,වචනයක් වචනයක් ගානෙම අපිට හිතන්න, හිතට ගන්න දෙයක් ඉතුරු කළා..හැමදාම මම ගෙදර එද්දි ක්‍රිකට් මැච් බලන්න සීයා වාඩි වෙන සුපුරුදු පුටුව අද හිස්! ඒ පුටුව දකින වාරයක් ගානෙ මගෙ සුදු සීයව මැවිල පේනව සීයෙ! ඒත් අද සීයව දකින්න ඉතුරු ඒ පුටුව එහාපැත්තෙ තියල තියෙන රාමු කරපු පින්තූරයක් විතරයි!
මගේ සුදු සීයගෙ හිතේ තිබ්බ ලොකූ ආසාවක් තමයි සීයගෙ දරුවො හතරදෙනයි මුනුඹුරු මිනිඹිරියො දහ දෙනයි එක තැනකට දවසක එකතු කරලා කතා කර කර ඉන්න..ඒත් සීයෙ අපි හිටියෙ ලෝකෙ හතර කොනේ ඉහිරිලා..අන්තිමට අපි සේරමලා එකතු උනා..කතා කරා..ඒත්..ඒත් ඒ සතුට විඳින්න සීයාට ඉන්න බැරි උනා..බැරි උනා නෙමෙයි..බැරි කළා..මැරෙන්න වටින මිනීමරුවො, කාළකන්නි උතුරන්න ඉන්න මේ ලෝකේ කොහෙවත් නැති නරකාදි පිළිකාවක් අපෙ රත්තරං සුදු සීයව අපෙන් උදුරගත්තා! 
ජූලි 24 වෙනිදා..මගෙ 18වෙනි උපන්දිනේට දවස් තුනකට පස්සෙ දවස..මේ අවුරුදු ගාන තිස්සෙම හැම උපන්දිනයක් ගානෙම මට මුලින්ම සුභ පැතුව අය අතරෙ මගෙ සුදු සීයයි සුදු ආච්චියි හිටියා..ඒත් මම පුදුම ආසාවෙන් උදාවෙනකං බලං හිටපු මගෙ 18වෙනි උපන්දිනේ සුදු සීයගෙන් "හැපි බර්ත්ඩේ පුතේ" කියලා අහගන්න වෙන අන්තිම උපන්දිනේ කියල දැනන් හිටියනං මං කවදාවත් ඒ දවස සමරන්නෙ නෑ සීයෙ! 
ජීවිතේ මහ පුදුමයි..එදා මගෙ සුදු සීයාව ඉස්පිරිතාලෙ ගෙනියපු දවසෙ සීයාගෙ අතින් අල්ලං සීයාගෙ එහා පැත්තෙන් ඇම්බියුලන්ස් එකේම මමත් ගියෙ සීයා නැතුව ගෙදර එන්න වෙයි කියල දැනගෙන නෙමෙයි සීයෙ..ඒ උනත් සීයා නිහඬවම සීයාගෙ ගමන ගියා..
තුන්මාසයක් ගෙවිලා ගිහින්..මම දන්නවා..අපි දහදෙනා දිහාම මගෙ සුදු සීයා බලාගෙන ඉන්නෙ කියලා.. ගොඩාක් පාළුයි සීයෙ..මේ කම්පියුටර් එක ඉස්සරහදිම මම අනන්ත සීයගෙන් බැනුම් අහන්න ඇති..දැනුත් සීයා කේන්තියෙන් ඇත්තෙ කාලෙ නාස්ති කරනව කියලා..මට සමාවෙන්න මගෙ සුදු සීයෙ! කොච්චර හිත රිදුනු වැඩ කළත් අපි දහදෙනාම එකා වගේ සීයට හැමදාමත් ආදරෙයි සුදු සීයෙ..මම ජීවිතේ හැමදාමත් පසුතැවිලි වේවි සීයාගෙ හිත රිද්දපු ඒ හැම පාරක් ගානෙම..අපිට මනුස්සකම කියල දුන්නෙ සීයා..අපිව හරි පාරෙ යැවුවෙ සීයා..ඒ හැමදේටම ජීවිතේ ඇති තුරා අපි ණයයි සුදු සීයෙ..ඉක්මනින්ම නිවන් දකින්න මගෙ සුදු සීයෙ!! :'( 
ආදරෙයි හැමදාමත් අපි !!

Wednesday, September 4, 2013

ඉකිබිඳුම!

හිත මිතුරු සුළඟකට කියා එක        රහසක්
හදවතින් බැන්ද පෙම තරම් වූ          අහසක්
දිවි සමව රකින්නට ගත් විසල්    වෙහෙසක්
දුහුවිලිව වියකිලා තියා එක            කුකුසක්!

සුවහසක් කම් කටොළු මැද කළ නමුත් පෙම්
තිබුණි සිත පෙම් හැඟුම් පිරී ඉතිරී           ඉම්
අහේතුක වෙන්වීම කළා ලොව        දෙදරුම්
දනිමි යළි නේන බව කෙළෙස ඉවසම්   මම්?