Friday, October 25, 2013

උදුරාගත් සෙනෙහස!

තුන් මාසයක්.. 
මහ ගොඩාක් දේවල් වෙනස් වෙච්ච කාලයක්! 
හිත අස්සෙ පුපුරු ගහන දුක අද ආයෙම අළුත් උනා..හිත අඬනවා..මගෙ විතරක් නෙමෙයි..අපි හැමෝගෙම! ඇත්තමයි..මේ තුන් මාසෙම හැම දවසක් දවසක් ගානෙ මහා හිස් බවක්,මහා තනිකමක් දැනුනා හිතට!
මුළු ගෙදරම මූසල පාටයි..ඉස්සර බොහොම සරුවට තිබිච්ච අපේ වත්ත අද කේඬෑරි වෙලා හේ බාලා ගිය ගස්වැලිවලින් පිරිලා..ඉස්සර ඒ හැම පැළයක් ගානෙම බොහොම ආදරයෙන් රැක බලාගත්ත ඒ රත්තරං අත් දෙක ආයෙ උන්ට වතුර,පෝර දාන්න එන්නෙ නැති බව උන්ටත් තේරිලා වගෙයි!එදා ඉඳන්ම අපේ ගෙදරට හැමදාම ආපු ඉංග්‍රීසි පත්තරේ තවමත් හැමදාම පුරුද්දට වගේ ගෙනාවට ඒකෙ සුදෝකු ප්‍රෙහේලිකාව බොහොම සීරුවෙන් පුරවන්න හරි ආසාවෙන් මග බලං හිටපු ඒ ගාම්භීර රූපය අද අපේ ගෙදර නැහැ..
අපේ සුදු සීයා.. 
පුදුමාකර ශක්තිමත්,ප්‍රතාපවත්,කරුණාවන්ත චරිතයක්! සීයාගෙ හැම පියවරක් පියවරක් ගානෙම,වචනයක් වචනයක් ගානෙම අපිට හිතන්න, හිතට ගන්න දෙයක් ඉතුරු කළා..හැමදාම මම ගෙදර එද්දි ක්‍රිකට් මැච් බලන්න සීයා වාඩි වෙන සුපුරුදු පුටුව අද හිස්! ඒ පුටුව දකින වාරයක් ගානෙ මගෙ සුදු සීයව මැවිල පේනව සීයෙ! ඒත් අද සීයව දකින්න ඉතුරු ඒ පුටුව එහාපැත්තෙ තියල තියෙන රාමු කරපු පින්තූරයක් විතරයි!
මගේ සුදු සීයගෙ හිතේ තිබ්බ ලොකූ ආසාවක් තමයි සීයගෙ දරුවො හතරදෙනයි මුනුඹුරු මිනිඹිරියො දහ දෙනයි එක තැනකට දවසක එකතු කරලා කතා කර කර ඉන්න..ඒත් සීයෙ අපි හිටියෙ ලෝකෙ හතර කොනේ ඉහිරිලා..අන්තිමට අපි සේරමලා එකතු උනා..කතා කරා..ඒත්..ඒත් ඒ සතුට විඳින්න සීයාට ඉන්න බැරි උනා..බැරි උනා නෙමෙයි..බැරි කළා..මැරෙන්න වටින මිනීමරුවො, කාළකන්නි උතුරන්න ඉන්න මේ ලෝකේ කොහෙවත් නැති නරකාදි පිළිකාවක් අපෙ රත්තරං සුදු සීයව අපෙන් උදුරගත්තා! 
ජූලි 24 වෙනිදා..මගෙ 18වෙනි උපන්දිනේට දවස් තුනකට පස්සෙ දවස..මේ අවුරුදු ගාන තිස්සෙම හැම උපන්දිනයක් ගානෙම මට මුලින්ම සුභ පැතුව අය අතරෙ මගෙ සුදු සීයයි සුදු ආච්චියි හිටියා..ඒත් මම පුදුම ආසාවෙන් උදාවෙනකං බලං හිටපු මගෙ 18වෙනි උපන්දිනේ සුදු සීයගෙන් "හැපි බර්ත්ඩේ පුතේ" කියලා අහගන්න වෙන අන්තිම උපන්දිනේ කියල දැනන් හිටියනං මං කවදාවත් ඒ දවස සමරන්නෙ නෑ සීයෙ! 
ජීවිතේ මහ පුදුමයි..එදා මගෙ සුදු සීයාව ඉස්පිරිතාලෙ ගෙනියපු දවසෙ සීයාගෙ අතින් අල්ලං සීයාගෙ එහා පැත්තෙන් ඇම්බියුලන්ස් එකේම මමත් ගියෙ සීයා නැතුව ගෙදර එන්න වෙයි කියල දැනගෙන නෙමෙයි සීයෙ..ඒ උනත් සීයා නිහඬවම සීයාගෙ ගමන ගියා..
තුන්මාසයක් ගෙවිලා ගිහින්..මම දන්නවා..අපි දහදෙනා දිහාම මගෙ සුදු සීයා බලාගෙන ඉන්නෙ කියලා.. ගොඩාක් පාළුයි සීයෙ..මේ කම්පියුටර් එක ඉස්සරහදිම මම අනන්ත සීයගෙන් බැනුම් අහන්න ඇති..දැනුත් සීයා කේන්තියෙන් ඇත්තෙ කාලෙ නාස්ති කරනව කියලා..මට සමාවෙන්න මගෙ සුදු සීයෙ! කොච්චර හිත රිදුනු වැඩ කළත් අපි දහදෙනාම එකා වගේ සීයට හැමදාමත් ආදරෙයි සුදු සීයෙ..මම ජීවිතේ හැමදාමත් පසුතැවිලි වේවි සීයාගෙ හිත රිද්දපු ඒ හැම පාරක් ගානෙම..අපිට මනුස්සකම කියල දුන්නෙ සීයා..අපිව හරි පාරෙ යැවුවෙ සීයා..ඒ හැමදේටම ජීවිතේ ඇති තුරා අපි ණයයි සුදු සීයෙ..ඉක්මනින්ම නිවන් දකින්න මගෙ සුදු සීයෙ!! :'( 
ආදරෙයි හැමදාමත් අපි !!

Wednesday, September 4, 2013

ඉකිබිඳුම!

හිත මිතුරු සුළඟකට කියා එක        රහසක්
හදවතින් බැන්ද පෙම තරම් වූ          අහසක්
දිවි සමව රකින්නට ගත් විසල්    වෙහෙසක්
දුහුවිලිව වියකිලා තියා එක            කුකුසක්!

සුවහසක් කම් කටොළු මැද කළ නමුත් පෙම්
තිබුණි සිත පෙම් හැඟුම් පිරී ඉතිරී           ඉම්
අහේතුක වෙන්වීම කළා ලොව        දෙදරුම්
දනිමි යළි නේන බව කෙළෙස ඉවසම්   මම්?


Saturday, August 31, 2013

මට මගේ නොවන.. මගේම ආදරයක් තිබුනා!!

සංගීතය!
හදවත් වෙණ තත් ප්‍රකම්පිත කළ හැකි ප්‍රබලතම නමුත් සොඳුරුතම මාධ්‍යය!
හිතට කතා කරලා හිත අස්සෙ හංගන් තියාගත්ත මතකයන්,ඒ අතීතයට ආපහු බලහත්කාරෙන් ඇදන් යන්න තරම් හැකියාවකින් යුක්ත මහා සුවිසල් කලාවක්!
මම දකින විදියට සංගීතය කියන විශ්ව භාශාව ඇතුලෙ හැංගිච්ච විභවය මහා පුළුල් පරාසයක් පුරා පැතිර යන, අතිශයින්ම ප්‍රබල ශක්තියක්!
අමරසිරි පීරිස් කියන ප්‍රතිභාපූර්ණ කලාකරුවාගේ ගැඹුරු මානුශීය හඬට මුසු වෙච්ච අමිල තේනුවරයන්ගේ භාවයන්, දර්ශන නුවන්ගේ තනුවකට පසුබිම් වෙලා දෙසවනට රිංගද්දි ඒ සංකලනයට සංවේදී නොවන්නෙක් වේ නම් සැබැවින්ම අරුමයක්!
අනේක විධ වූ ගීත රචනයන් මැද්දෙ මම මේ ගීතය ගැනම ලියන්නෙ වෙන කිසි හේතුවක් නිසා නෙමෙයි, පුද්ගලිකව මේ ගීතය මහ පුදුම භාවනාවක්ම උනු නිසා!

මේ ගීතය වාදනය වෙන්නට හැර දෙනෙත් පියාගන්න.. ඔබ වරක් හෝ ආදරයෙන් පැරදුන කෙනෙක්නම් සැබැවින්ම ඔබ සමාධිගත වේවි! ඔබටම වැටහේවි..විරහව හැමෝටම පොදු, සොඳුරුතම වේදනාවක් බව!

ඉකිගසා හඬන 
අතීතයක...
කඳුලු එක්ක ගනුදෙනු කරනා...
මට මගේ නොවන 
මගේම ආදරයක් තිබුනා...

හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ
අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා
මට මගේ නොවන...
මගේම ආදරයක් තිබුනා...

රිදුමක් වාගේ කිසිදා සුව නොවනා...
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන උනු කඳුලුම වගුරුවනා
මට මගේ නොවන...
මගේම ආදරයක් තිබුනා...

ගායනය - අමරසිරි පීරිස්
තනුව - දර්ශන රුවන්
පද රචනය - අමිල තේනුවර




Sunday, June 16, 2013

LAUD ME NOT FOR BEEN SUCH A LADDIE

In a sky full of million stars,
a few i found myself to console,
Wondering whom to salute,
nor i wonder whom to impeach


Least bearable moments I see,
a visible God embracing a child
My heart wouldn't agree,
to whom they call it envy


Why infant were I to see you apart,
in my layette, wasn't I pathetic?
need no heaven nor paradise
but a trace of mirth to save the paternity

In my heart was a half drawn sketch,
Why wouldn't the voice Eco?, Why doesn't the shadow shake ?
Laud me not for been such a laddie,
for days I've lived with no daddy !



Saturday, June 8, 2013

chit එකක් - 3! (නොකියවූ! ) :p

අහසම ගුගුරුවාගෙන වැටෙනා වැස්ස
කම්මැළිකමෙන් පුරවයි හිත් හැම අස්ස
ගෙදර ඉන්න හැදුවත් හින්දා වැස්ස
මගෙ බුදු පියා දැම්මනෙ ඒකට කොස්ස!

වැහි පිට වැහි වැටී ගං දිය ගොඩ ගැලුවත්
සැඩ සුළි සුළං කුණාටු ගම් බිම් නැසුවත්
ලෝක විනාසෙට මොහොතක් පෙර තිබ්බත්
පන්ති යාම නවතනු බෑ මොකකටවත්!

තෙතබරි වෙලා සියොළඟ සමහර උන්ගේ
සමහරු ගෙදර ඇති පොරවන් රෙදි උන්ගේ
අද මේ කටු නොකෑවොත් සර් කියනවා වාගේ
හැමදා වෙන්නෙ තෙමෙන්න කඩපිල් ගානේ!
 

Friday, May 24, 2013



පන්සිල් රකින මිනිසුන් යළි මතුවීයන්..
මනුදම් ගුණ දහම් තව තව වැඩීයන්..
හිස් හදවත් වලට ධර්මය පිරීයන්..
මේ සිරි වෙසඟේ බුදු බණ තව ඇසීයන්..

වෙසක් සඳේ එලියද සිහිලද එක්වී..
පෙන්වත්වා සැමට නිවනට මග මෙත්වී..
සිරිමා බෝ රදුන්ගේ සෙවණට එක්වී..
මෙනෙහි කරමු සිරි සදහම් ගුණ සිත්හී..

තෙවරක් බුදුන් පා පහසෙන් නිමල වුන..
මේ පින් බිමම දනවයි සිල් සුවඳ අද ..
නොගිණිය හැකි තරම් වන හැම සතුන් හට..
වේවා ත්‍රිවිධ රත්නේ පිහිටම නිබඳ ..

ඔබ සැමට සිරි සුභ වෙසක් මංගල්‍යයක්ම වේවා!!  :) 


Tuesday, May 7, 2013

chit එක!! -2

කෙහෙරැළි ගැහුණු කළු කොණ්ඩය අක්බමරු
නිල්ම්ණි දෑස හදවත මන් මත් කරවූ
නොදැනිම බැඳුනා ඒ රුව වෙත නෙත් සොඳුරු
ආලය කෙරුම වරදක්දෝ තුමනි ගුරු

ඇගෙ සිත වතට හදවතින්ම පෙම් බැන්දත්
උ/පෙ ට ආදරය කළ යුතු වෙයි තව වසරක්
අනෙ මේ විභාගයනම් දැන් මළ වදයක්
පෙමද විභාගෙද සර් වෙන්නකො පිහිටක්!

Friday, April 12, 2013

---නම---



නමක්..
මොකටද මට??
අනන්‍ය වෙන්න උදවු වෙනවලු
මොන බොරුද??
මගේ නම ඇති
මනුස්ස පරාණ
කොච්චරවත් ඇතිනෙ
මේ රවුම් ලෝකය උඩ!!

Friday, March 29, 2013

chit එක!!


පාසල් පන්ති සටහන් මැද මසක්    ගෙවී
විසිනම දිනක් මෙලොවට වැඩ කරපු අපී
එලොවට වැඩක් කරගන්නට උනත්  රිසී
කොහෙදෝ ඉඩක් තිබුනොත් පෝයට පන්තී??

බෝ පත් වලින් හැඩ උනු පන්සල් පාර
ඒ මග අපිට පෙන්නයි නිවනට      පාර
physics උනත් අනියත බව පොදු නේද?
පෝ දින නිවාඩුව දුන්නට පිං     සර්ට!!

පතිනියකි ඇය..!!



පතිනියකි ඇය
එදා
සිරුරත පුරා රුහිරෙන් වැසී ගිය
මුකුලිතය නෙත් කුසුම්
මස් වැදලි ලේ කුණු අපුලටම
රළු පරළු වදනින්
තොර වදන් නෑසුනු සවන් යුග
පතිනියකි ඇය
තවමත්
පතන
තිමිර තිර පටලෙන් වැසුණු ලොව
ඉරා කඩතුරාවෙන් අරුණළු දකින්නට
බියෙන් බර හද ගැහෙන වේගය
එක් රිද්මයකට ලඝු කරන්නට
මතකද??
දිවිදුන්හ සුවහසක්
දකින්නට ඇගෙ සොඳුරු මදහස!
බලවු..
අද ඇගේ ඔසරිපොට පිරිසිදුය
දෑත ඇඳි මරතෝඩි සිරිබර
නළලතේ තිලකය
දෙතොල් අග රැඳි සොඳුරු සිනහව
ඇයයි සිරිකත!
ඇයයි පතිනිය!
දෙපා සිඹ වැඳ,
නගමු ලක්මව!!

Monday, February 25, 2013

දයාබර නඳුන් සොහොයුර..



මේ ලෝකෙ හරි අමුතුයි..මිනීමරුවො,පාදඩයො,දූශකයො වගේ මැරෙන්න වටින මිනිස්සු අනන්තවත් ඉන්න මේ ලෝකෙ ඉක්මනටම දාලා යන්න වෙන්නෙ රත්තරන් හදවත් තියෙන,රටට ලෝකෙට වැඩක් කරන්න ඉන්න,හැමතිස්සෙම අනුන් ගැන හිතල වැඩ කරන මිනිස්සුන්ට..
ඔව්..මම මේ කියන්න හදන්නෙ ඉක්මනටම අපෙන් උදුරගත්ත,තවත් කාලයක් අපි අතරම ඉන්න තිබ්බ මනුස්සයෙක් ගැන..
මස්කෙළිය ඔය බිලිගත්ත මිනිස් ජීවිත ලැයිස්තුවට එකතු වෙච්ච අපි අතර හිටිය අපේම සහෝදරයෙක් ගැන..
අයියෙ..අපි ඔයාව දැනගත්තෙ ලඟදි බව ඇත්ත..නමුත් අනික් අයගෙ හිත් ඇතුලෙ ඔයා ගැන තිබ්බ ආකල්පවලින් අපි ඔයාගෙ වටිනාකම කොච්චරක්ද කියල දැනගත්තා..ඒක නිසා වෙන්නැති ඔයා නැති වෙච්ච පාලුව අපේ හිත්වලට මෙච්චරටම දැනුනෙ..එක පවුලක අය අපි..ඒ පවුලෙන් එක්කෙනෙක් අයින් උනාම දැනෙන දුක අපි හොඳට අත් වින්දා..ඊටත් වඩා ඔයා ඒ පවුලෙ පරණම සාමාජිකයෙක්..
මේ මට දැනිච්ච දේ..පෑනක අගින් ලියවෙන අකුරු ගොඩකට ඔයාවවත් ඔයාගෙ ඒ මතකයවත් හිර කරන්න බැරි බව මම දන්නවා..ඒත් මේක මතක සැමරුමක් විදියට හරි අපි ලඟ තියේවි කියලා විස්වාසයක් තියෙනව මට..

              දයාබර නඳුන් සොහොයුර..

සොඳුරු පෙණ කැට සමඟ නිහඬව
ගලා යන මේ නිසල ජල කඳ
හදගැස්ම ඔබෙ නිහඬ කළ බව
අදහම්ද කෙලෙසේ??

සිනා මල් දම් පැළැඳි ඔය වත
සොයුරු සෙනෙහෙන් පිරුනු හදවත
නොහමුවනු ඇත යළිදු කිසිදින
ඉවසම්ද කෙලෙසේ??

යොවුන් කෙළිලොල්කමට සිත්වී
ගිය ගමන අවසන් ගමන වී
සුවහසක් නෙත් කඳුලු ගෙනදී
සමුදෙමුද කෙලෙසේ??

මුණ නොගැසෙනා මුත් යළිත් අපි
මරණයට බැහැ මකනු සිතිවිලි
ඔබව සිහිවන හැම වරකදිම
පින් ගන්න රිසිසේ..

නඳුන් අයියේ ඔබට නිවන් සුව!!