අහසට දෑත් දිගු කර තව වැඳපල්ලා
නළලත බිම ගසන් තව තව යැදපල්ලා
රුහිරෙන් පුදා දෙවියන් පිනවාපල්ලා
මියගිය ඇයට සැනසුම ලැබුණද අල්ලාහ්?
ගල් මුල් වලින් ඇගෙ ගත තළනා විටදි
දිළිසෙන කගපතින් හිස ගසනා විටදි
ඇගෙ මල් කැකුලු පතිවත වනසන විටදි
දෙවියනි කිමද නොදැනෙන නොපෙනෙන පරිදි?
මොන දෙවියන්ද රුහිරෙන් පූජා ගන්නේ?
මොන දෙවියන්ද මරණෙට අනුබල දෙන්නේ?
මොන දෙවියන්ද හදවත් දුක් අවුලන්නේ?
දෙවියන් නිසා ඇයි ලේ වගුරාගන්නේ?
ආගම නමින් ලේ වැගිරිලි නවතල්ලා
දෙවියන් දෙසූ දේ යළි විමසාපල්ලා
යහපත මිසක් නරකෙන් හිත් මුදපල්ලා
දැන් ඇති මරණ බිය දැන්වත් නවතල්ලා!
අල්ලාහ් දෙවිදුනේ මේ දුක අහපල්ලා
ලේ ගංගා වලට නැවතුම තබපල්ලා
දහම නමින් දෙන දඬුවම් නවතල්ලා
ලොව හැම සතම රැක දෙනු දෙවියනි අල්ලාහ් !
දෙවියන් උත්තමයි මනුසත් අපට වඩා
ඔහුගේ දෙසුම යහපත පිණිසමයි සදා
ඒ දෙසු දහම ගනු මැන නිවැරදිව යොදා
ස්වර්ගය වෙත පෙනෙයි මාවත විවර වෙලා.
ප:ලි:
මෙය කිසිදු ආගමකටවත්, ආගමික නායකයෙකුටවත් අහේතුක මඩ ගැසීමක් නොවන බවත් ආගම නාමයෙන් සිදුකරනා ලේ වැගිරීම් පිළිබඳ ඇතිවූ සිත් රිදීම ම පමණක් මේ කවිපෙළට හේතු වූ බවත් පවසනු කැමැත්තෙමි.
:දෙමින්ත ජයසිංහ: